Thursday, August 28, 2008

ජීවීන් වර්ගීකරණය හා නාමකරණය

ජීවීන් වර්ගීකරණය හා නාමකරණය යන්න වෙනම ම හැදෑරිය යුතු, ශාස්ත්‍රපති (PhD) උපාධිය දක්වා දිවෙන අති පුළුල් විෂයකි. එසේම ඉතා වැදගත් විෂයකි. මක්නිසාද, දැනට අප පෘතිවිය තුළ/මත ජීවි විශේෂ මිලියන 30 ක් වත් ඇති බව විද්‍යාඟ්්‍දයන් ඇස්තමේන්තු කරයි. නමුත් මේ වන විට සොයාගෙන අධ්‍යයනය කොට ඇත්තේ ඉතාමත් අතලොස්සකි. තවත් අති විශාල ජීවී විශේෂ ප්‍රමාණයක් හදුනා ගැනීමට ඉතිරිව ඇත.

මෙසේ ජීවීන් හදුනාගෙන වර්‍ගකරණය කොට නාමකරණය කිරීමේ වැදගත්කම කුමක්දැයි ඔබ සිතනවා ඇති! මෙය ලියන මම, කියවන ඔබ, අපි සැවොම මිනිසුන්, තවත් එක් ජීවී විශේෂයක්! නමුත් අප සැමට අනන්‍යය වු අන්‍යයන්ගෙන් ගෙන් වෙන් කොට හදුනාගත හැකිවූ නමක් හෝ හැදුනුම්පතක් අප සතුයි. ඒ හා සමානවම සෑම ජීවී විශේෂයකටම නමක්, අනන්‍යය වූ නමක් ලබා දීමෙන් ඔවුන්ව ඉතා පහසුවෙන් ලෝකයේ කොතැනකින් වුවත් හදුනාගත හැකියි. උදාහරණයක් ලෙස අපි වැටමාර ශාකය ගමු. විවිධ ප්‍රදේශවල වැටමාර ශාකය ගිනිසීරියා, ලාඩප්පා, වැටහිර ආදී විවිධ නම් වලින් හදුන්වනවා. එකම ශාකයට විවිධ ප්‍රදේශ වල විවිධ නම් තිබීම මහා ගැටළුක්. එය මඟහැර ගැනීමටයි විද්‍යාත්මක නාම භාවිතා කරන්නෙ! වැටමාර = Gliricidia sepium

එසේම විද්‍යාත්මක නාම යෙදීම හා වර්‍ගකරණය හිතුමතේට නොකරයි. අදාල සත්වයා/ශාකය ගැන මනා අධ්‍ය්‍යනය කින් පසු එම සත්වයා/ශාකය පෙන්වන පරිණාමික බන්ධුතා අනුව නම යෙදීම හා වර්ගීකරණය කරයි. උදාහරණ ඉදිරියේදී සලකා බලමු. ජීවීන් වර්ගීකරණය ජීවීන් වර්ගීකරණයද විවිධ ආකාර වලට සිදුකල හැක. පහසුවෙන් හදුනාගත හැකි බාහිර ලක්ෂණ උපයෝගී කොට ගෙන සිදු කරන වර්‍ගකරණය ඉන් එකකි. මෙය කෘතිම වර්‍ගකරණයක් ලෙස නම් කෙරේ. මෙහිදී වර්‍ගකරණ ක්‍රියාවලිය පහසු වුවත් ජීවීන් අතර පරීණාමික බන්ධූතා, ජීවීන්ගේ ව්‍යුහය, කළල විකසනය……. වැනි ලක්ෂණ පිලිබිඹු නොවේ. ජීවීන් ජලජ සතුන්, පියාඹන සතුන්, බඩගාන සතුන් ලෙස නම් කිරීම මෙයට උදාහරණ වේ. මාළුවෝ මෙන්ම ජල්ලියෝද ජලයේ වාසය කරති. නමුත් ජල්ලියන් ප්‍රාථමික ජීවීන් කොටසකි. මාළු ඉතා දියුණු ජීවී කොටසකි. අනෙක් ඛාණ්ඩද එසේම ය.

වඩාත් සුදුසු වර්‍ගකරණය වන්නේ ස්වභාවික වර්‍ගකරණයයි. මෙහිදී ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ, කළල විද්‍යාත්මක ලක්ෂණ, පොසිල වලින් ලැබෙන සාක්ෂි ආදිය විශ්ලේෂණය කර ජීවින් අතර පරිණාමික බන්ධුතා පැහැදිලි වන අයුරින් වර්ගීකරණය සිදු කරයි. මෙහිදී අදාල ලක්ෂණ වලට අනුව ජීවීන් කොටස් වලට බෙදා වෙන්කරයි. එම කොටස් හදුක්වන්නේ "තක්සෝන" යනුවෙනි. ප්‍රධාන තක්සෝන මෙසේය.

Species | විශේෂය - වර්‍ඝකරණයේ මුලික ඒකකයයි. බොහෝ ලක්ෂණ වලින් එකිනෙකාට සමාන එක් ලක්ෂණයකින් හෝ ලක්ෂණ කීපයකින් අනෙකුන්ගෙන් වෙනස් අන්තරාභිජනනයෙන් සරු ජීවින් බිහිකරන ජීවීන් ඛාණ්ඩය
Genus | ඝනය - සමාන ලක්ෂන සහිත විශේෂ වල එකතුව
Family | කුලය - සමාන ලක්ෂන සහිත ඝන වල එකතුව
Order | ගෝත්‍රය - සමාන ලක්ෂන සහිත කුල වල එකතුව
Class | වර්‍ගය - සමාන ලක්ෂන සහිත ගෝත්‍ර වල එකතුව
Phylum/Devision | වංශය/ඛාණ්ඩය - සමාන ලක්ෂන සහිත වර්‍ග වල එකතුව
Kingdom | රාජධානිය - සමාන ලක්ෂන සහිත වංශ/ඛාණ්ඩ වල එකතුව, ඉහලම තක්සෝනය රාජධානියයි.

දැනට බහුලව භාවිතා වන 1969 රොබට් විටෙකර් විසින් ඉදිරිපත් කල වර්‍ගකරණයට අනුව නම් රාජධානි 5 කි. දැනට ඉදිරිපත් වී ඇති වර්ගීකරණය ජීවීන් වර්ගීකරණය ඈත ග්‍රීක යුගය තෙක් දිව යයි. සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් මෙන්ම තියෝපැට්‍රිස්ද ජීවීන් වර්‍ගකරණය සිදු කළා යැයි සැලකේ. නමුත් වඩාත්ම සාර්ථක වර්ගීකරණය හා නාමකරණය ඉදිරිපත් 1735 කැරොලස් ලිනේයස් විසිනි. මොහු Vegetabilia හා Animalia ලෙස රාජධානි දෙක කට වර්‍ගකරණය සිදු කරන ලදී. ඉන්පසු වර්ගීකරණය කිහිපයක්ම අර්නස්ට් හේකල්, කෝප්ලන්ඩ් ආදීන් ඉදිරිපත් කළ ද වඩාත් සාර්ථක මෙන්ම දැනටද භාවිතා වන රාජධානි පහේ වර්‍ගකරණය 1969 රොබට් විටේකර් විසින් ඉදිරිපත් කරන ලදී.
ඉදිරියට…….
- විටේකර්ගේ වර්ගීකරණය
- ලිනේයස්ගේ ද්විපද නාමකරණය
- මිනිසා
- නාමකරණය
- වගීකරණය සිදු කල නොහැකි වෛරස
මතු සම්බන්ධයි........

1 comment:

fossurgeon said...

මෙවැන්නක් ගැන සටහන් ලිවීම හරි වටිනව. මෙලොව සිටින ජීවීන් ගැන නොදැනුවත් කම නිසා මිනිසා නම් ජීවියා, අනෙකුන් නොසලාකා ජීවන රටාවක් ගෙන යයි. පැරණි මිනිසා මෙසේ නොවුණු බව ට යම් සාදක හා තොරතුරු පෙන්වයි. දියුණුවත් සමග මිනිසාගේ පරිසරය පාලනය කිරීමේ හැකියාව ගැන ඇතිවුණු මිත්‍යා දෘශ්ටිය නිසාත්, ආත්මාර්තකාමිත්වය නිසාත්, අනික් ජීවීන් ගැන නොදැනුවත්කම නිසාත් මේඑ තත්ත්වය ඇතිවී ඇත. ඔබට ගොඩක් තුති