Wednesday, June 16, 2010

නුවරදී ලෝක පරිසර දිනය සැමරුවෙමු

wedlogo.gif

"ජෛව විවිධත්වය, පරිසර පද්ධති කලමණාකරණය සහ හරිත ආර්ථිකය" යන්න පදනම් කොට ගෙන මෙම වසරේ (2010) ජූනි 5 වන දින ජාත්‍යන්තර පරිසර දිනය විවිධ රට වල විවිධ ප්‍රදේශ වල සැමරීමට කටයුතු යෙදින. එසේම 2010 වසර "ජාත්‍යයන්තර ජෛව විවිධත්ව වසර" ලෙසද නම්කර ඇත. එනිසාම ලෝකය පුරා ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස, ජල කලමණාකරණය, පරිසර පද්ධති කලමණාකරණය, හරිත ආර්ථිකය ආදී මාතෘකා උණුසුම් ලෙස කතා බහට ලක්විය. මේ අතර නුවර නගරය අවට පාසල් කේන්ද්‍ර කොටගෙන ඇමරිකානු තානාපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය ඒකාබද්ධව සංවිධානය කල පරිසර දින සැමරුම් කදවුරට සහභාගී වීමට මාහටද අවස්ථාවක් හිමිවිය.

iyb_logo_txt.jpg

ඒ මෙමස (ජූනි) පළමුවනදායි. පාසලේ ග්ලෝබ් සමාජය වෙත ලැබී තිබූ ආරාධනය මත අප පාසලේ සිසුන් කිහිප දෙනෙක් ද සංගමය භාර නව ආචාර්යවරයා සමඟ ආදී ග්ලෝබ් සිසුන්වන මම ද තවත් මාගේ මිතුරෙක්ද උදෑසනම ආරම්භක ස්ථානය වන නුවර ඩී.එස්. සේනානායක පුස්තකාලය වෙත ගමන් ආරම්භ කලෙමු. අප ගමනාන්තයට ලගා වන විටත් බොහෝ පිරිසක් එම ස්ථානයට රොක්ව සිටියහ. ප්‍රථමයෙන්ම පැමිණ සිටි සියළු සිසුනට දේශනයක් සකස් කර තිබූ අතර එම කාලයේදී සම්පත් දායකයන් වූ අප පැමිණ සිටි අනෙකුත් පාසල්වල ගුරු භවතුන් සමඟ සතුටු සාමීචියෙහි යෙදුනෙමු. එකල අප විසින් සංවිධානය කල වැඩමුළු සහ කදවුරු සඳහා සහභාගී වු ඇතැම් ගුරුභවතුන් නැවත අප දැකීමෙන් ඉතාමත් සතුටු වූහ. දේශනය අවසන් වනවාත් සමඟම අපගේ සතුටු සාමීචියද අවසන් විය.

ඉන්පසු සියළුම පාසල් සිසුන්ද ගුරු භවතුන්ද අධ්‍යාපන අමාත්‍යාංයෙන් පැමිණ සිටි ග්ලෝබ් පුහුණුව ලැබු නිලධාරීන්ද බස් රථ මගින් නුවර වැව වෙත ගෙන යන ලදී. ඒ ජල දත්ත ලබා ගැනීම සඳහාය. ඒ සඳහා සියළුම උපකරණ සහ පහසුකම් සපයා තිබිණ. කණ්ඩායම් 6 කට බෙදා වෙන් කල සිසුන් පිරිස වැවෙහි ස්ථාන 6ක් වෙත ගොස් තම දත්ත ගැනීමේ කටයුතු වල හෙදුනහ. එහිදී සම්පත් දායකයන් ලෙස අමාත්‍යාංයෙන් පැමිණ සිටි ග්ලෝබ් පුහුණුව ලැබු නිලධාරීන්ද ආදී ග්ලෝබ් සාමාජිකයන්ද සහභාගී වූහ. මා හට ලැබුනේ කණ්ඩායම් අංක 3 යි. ‍එම සිසුන් බහුතරය උසස් පෙළ මට්ටමේ වූයෙන් කරුණු කාරණා තේරුම් කර දීම ඉතා පහසු විය. මෙහිදී අප

  • ජලයේ පාදෘශ්‍යතාව
  • උෂ්ණත්වය
  • ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය
  • නයිට්‍රේට ප්‍රමාණය
  • පී.එච් අගය
  • විද්‍යුත් සන්නායකතාව
  • ක්ෂාරීයතාව

ආදී ගුණාංග පරීක්ෂාවට ලක් කරන ලදී. මෙහිදී මා කලක සිට සිතා සිටි පරිදි සිසුනට මෙම පරීක්ෂණ සමග උසස්පෙල දැනුම සමාන්තරව දිවෙන පරිදි පැහැදිලි කිරීම්ද පරීක්ෂණ ක්‍රමෝපායන් මෙන්ම පරිසරය පිලිබද යම් ආකල්පයක්ද ලැබෙන පරිදි මාගේ පැහැදිලි කිරීම් සිදු කිරීමට හැකි වීම මට මහත් සතුටක් ගෙන දෙන්නක් විය.

DSC08518.JPG අපේ කණ්ඩායම - කණ්ඩායම් අංක 3

එම දත්ත ලබා ගැනීම් අවසන් වූ පසු අප කෙලින්ම පේරාදෙණිය උද්භිද උද්‍යානය වෙත ගමන් කලෙමු. එහිදී දිවා ආහාරය ලබාගත් අප ඉන් පසු යොමුවූයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකතුමා විසින් සිදු කල දේශනයටයි. එහිදී එතුමා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඉතිහාසය මෙන්ම ලංකාවේ පිහිටි අනෙක් උද්භිද උද්‍යාන ගැනද හැදින්වීමක් ලබා දුන්නේය. ඒ අනුව මෙතෙක් අප භාවිතා කරන ලද පේරාදෙණිය මල් වත්ත යන නාමය පේරාදෙණිය උද්භිද උද්‍යානය ලෙස නිවරදිව අපගේ සිත් වලට කා වැදින. එම දේශනය සුළු වේලාවක් පැවතියත් ඉතා වැදගත් වුවක් විය.

DSC03191.JPG දිවා ආහාරයෙන් පසු

ඉන් පසු එක් එක් කණ්ඩායම් ලබාගත් දත්ත සියල්ල එක් පුවරුවක් මතට ගෙන සංසන්දනය කිරීමක් හා විශ්ලේශණය කිරීමක් සිදු කරන ලදී. ඉන්පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයෙහි සුළු චාරිකාවකින් පසු සියළුදෙනා නිවෙස් බලා පිටත් වූහ.

DSC08550.JPG එක් එක් කණ්ඩායම් ලබා ගත් දත්ත

-------------------------------------------------------------------------

සැබවින්ම මෙවැනි වැඩසටහන් මගින් සිසුනට දෙයක් ලැබේද? පාසල් දිනයක කාලඡේද 8ක් අතහැරීමක් සිදු වනවා නේද? මෙවැනි ගැටළු රාශියක් මා ග්ලෝබ් සමාජයේ ගත කල වසර 5 තුල අත් දකින්නට සහ අසන්නට මට හැකිවිය. නමුත් එකල මා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වුවෙමි.

නමුත් දැන් මට ඒ සම්බන්ධව බොහෝ අත්දැකීම් ඇති නිසා තවත් මුනිවත රැකීම කල නොහැකිය. මාගේ දැනීමට හා අත්දැකීම් වලට අනුව නම් මෙවැනි ක්‍රියාකාරම් වල නිසි අවබෝධයෙන් යුතුව යෙදීම සිසුනට ඉතා ඵලදායීය. ඒ ආකාර කීපයකිනි.

මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදීමේදී සිසුනගේ මනස නිරන්තරයෙන් පරිසර ක්‍රියාකාරකම් හා මිනිසා විසින් පරිසරයට සිදු කරන අනර්ථකාරී ක්‍රියා සමඟ ගැටීමට ලක්වේ. සරල උදාහරණයක් සලකමු. ජලයේ පාරදෘශ්‍යතාව සඳහා පාඨාංක ලබාගත් විට එය සම්මත අගයට වඩා ඉතා අඩුනම් ඒ සඳහා හේතුව කුමක්ද? කවුරු සිදුකල ක්‍රියා නිසාද එසේ සිදුවුනේ? අපි බොන්නෙ මේ වතුරද? මේවා බීවොත් අපිට මොනවා වෙයිද? මෙහෙම දිගටම උනොත් අනාගතේ මොනවා වෙයිද? ආදී ප්‍රශ්න කෙරේ ළමා මනස ඉක්මනින් ලගා වේ. ඒවාට පිළිතුරු සෙවීමට යාමේදී ඔවුන්ගේ යම් ආකල්පමය වෙනසක්ද ඇතිවේ. පරිසරය පිළිබද වෙනත් කෝණයකින් බැලීමට හුරුවේ. අප මේ අවදානයට ලක් කලේ ජලය ගැන පමණි. ග්ලෝබ් පරීක්ෂණ ජලය, පස, වායුගෝලය හා බිම් ආවරණය යන සියළුම කේෂත්‍ර වල අධ්‍යයනයන් සිදු කරයි. එනිසා එවැනි පරීක්ෂණයන්හි යෙදුන සිසුන් නිතැතින් පරිසරය සමඟ සිතීමට හුරු වේ. මෙවැනි ආකල්පමය වෙනසක් පොතෙන් කිසිදාක සිදු කල නොහැකි බව මාගේ මතයයි.

DSC08467.JPG පාරදෘශ්‍යතාව මනිමින්... (මනින ක්‍රමේ නම් වැරදියි)

අනෙක් අතින් මෙහිදී අප සිදු කරන සියළු පරීක්ෂණ ලොව පිලිගත් සම්මත විද්‍යාත්මක ක්‍රම ඔස්සේ සිදු කරයි. අප උසස් පෙල රසායන විද්‍යාවට හෝ අනෙක් විෂයන්හි ඉගෙන ගන්නේද එම ක්‍රම මය. උසස් පෙල විභාග ප්‍රශ්න පත්‍රයට එන්නේද එම ක්‍රමයෙන් විසදිය හැකි ගැටළුමය. සරල උදාහරණයක් පෙර සිදුකල පරීක්ෂණ ආශ්‍රයෙන්ම ලබා ගමු. අප ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය සෙවීමේ පරීක්ෂණය සලකමු. මේ සදහා අප විද්‍යාගාරයේදී / රසායන විද්‍යාවේදී වින්ක්ලර් ක්‍රමය භාවිතා කර ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය සොයයි. එහිදී අනුමාපනය සඳහා බියුරෙට්ටු වැනි තරමක් විශාල උපකරණද භාවිතා කරයි. පරීක්ෂණය අවසානයේ ගණනය කිරීම් මගින් ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය ලීටරයකට මිලි ග්‍රරෑම් කීයක්දැයි සොයා ගනු ලැබේ. නමුත් කේෂත්‍රයේදී මෙම පරීක්ෂණය මෙසේ කිරීමට නොහැක. එනිසා අදාල හර මූලධර්මය මත පදනම් වූ පරීක්ෂණ කට්ටලයකින් අප පරීක්ෂණය සිදු කරයි. බොහෝ විට අප භාවිතා කරන්නේ LaMotte 7414 [DO tips]පරීක්ෂණ කට්ටලයයි. එමගින් අප පරීක්ෂණාගාරයේ සිදු කරන පරීක්ෂණයම ක්ෂණිකව සිදුකිරීමටත් ක්ෂණිකව පාඨාංක ලබා ගැනීමටත් ඉඩ සලසා ඇත. අවබෝධයෙන් පරීක්ෂණයේ යෙදෙන සිසුවාට මෙය ඉතා හොද ප්‍රායෝගික පරීක්ෂණයක් හා අත්දැකීමක් වනවා නියතය.

DSC08476.JPG DO මනිමින්

DSC08487.JPG අනුමාපනයක් කරමින්...

DSC08491.JPG GPS රිසිවරය

DSC08515.JPG LaMotte DO kit එක

No comments: