Sunday, May 20, 2012

ලිනක්ස් මත FMAbhaya (සහ වෙනත් යුනිකේත නොවන) සිංහල අකුරු යතුරුලියනය කිරීම.

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තුළ තවමත් භාවිතා වන්නේ FMAbhaya, Amalee, Nidahasa, Ranasuru වැනි අක්ෂර රටාවනුයි. එම අක්ෂර හා ඉංග්‍රීසි අක්ෂර අතර එක් අතකට අසමානකමක් නැති තරම්ය. සෑම අක්ෂරයක් සඳහාම ඉඩක් ඇති අතර අක්ෂරයේ පිහිටීම (යතුරුලියනයෙන් පසුව) පෙරනිමියෙන් තීරණය කර ඇත. අක්ෂර පිහිටා ඇති ස්ථානද නිර්මාපකයාගේ අවශ්‍යතාව අනුව වෙනස් වේ. එනිසා අදාල අක්ෂර යතුරුලියනයේදී මහත් අපහසුතාවකට පත්වේ.



මෙම අපහසුතාව මඟ හරවා ගැනීමට නම් සම්මත යතුරු පුවරුවක් නිර්මාණය කළ යුතුය. විජයසේකර සම්මත යතුරු පුවරුව සහ සිංහල යුනිකේත අකුරු නිර්මාණය වූයේ මෙම අපහසුතාව මඟහරවා ගැනීමටයි. එය කාලීන අවශ්‍යතාවක් වූවා මෙන්ම ඉතා පැසසිය යුත්තකි. නමුත් මෙම ලිපිය ලියන්නා වූ කාල වකවානුව වන විට යුනිකේත අක්ෂර නිමවා ඇත්තේ අතලොස්සකි. විවිධ රටාවන්, විවිධත්වයක් සහිත අක්ෂර නැති තරම්ය. මෙනිසා මුද්‍රණ ක්‍ෂෙත්‍රයේ සහ වෙනත් කලාත්මක සැකසුම් සඳහා තවමත් භාවිතා වන්නේ යුනිකේත නොවන මාදිලියේ අක්ෂර රටාවනුයි. එනිසා යුනිකේත නොවන මාදිලියේ අක්ෂර යතුරුලියනය සඳහා ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතී. යතුරුලියනයේ කාර්යක්ෂමතාව වැඩිකරගැනීමේ අවශතාවක් පවතී. Keyman මෙම අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා නිපදවූ වින්ඩෝස් මත ධාවනය වන වානිජ මෘදුකාංගයකි. ශ්‍රී ලංකාව තුළද අති බහුතරයක් දෙනා භාවිතා කරන්නේ මෙම මෘදුකාංගය ආශ්‍රිත කොටගෙන තැනූ යතුරුලියන ආකාරයි. නමුත් ලිනක්ස් මත මෙසේ යතුරුලියනය කිරීම සඳහා ක්‍රමයක් මා හට මීට පෙර සොයා ගැනීමට නොහැකි විය. එසේම මෙහි අවශ්‍යතාවද මා හට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.

ලිනක්ස් මත යුනිකේත යතුරු ලියනය කිරීම සඳහා Ibus උපයෝගී කොටගෙන විජයසේකර සම්මත ආකාරයට සහ වෙනත් ආකාර කීපයකටම යතුරු පුවරු නිර්මාණය විය. මෙම Ibus යතුරු පුවරු වල කේතය දුටු මා හට ඒ ආශ්‍රයෙන් යුනිකේත නොවන අකුරු සඳහා යතුරු ලියන කුමයක් සකස් කිරීමට මූලික අදහස පහලවිය. ඒ අනුව මාගේ කාලය සැලකිය යුතු ප්‍රමාණයක් වැයකර මෙම යතුරු පුවරුව නිර්මාණය විය.

මෙම නව ගොනුව /usr/share/m17nවෙත paste කිරීමෙන් පමණක් සක්‍රීය කර ගැනීමට හැකියි. ඉන්පසු Ibus හි නව යතුරු ලියන එක් කර ගැනීමේ මෙනුවෙහි other යටතේ දිස්වේ. එමගින් නව යතුරු පුවරුව එක් කරගත හැකියි.

මෙම යතුරු පුවරුවේ යම් වෙනස්කමක් සිදුකිරීමට අවශ්‍ය නම් sudo gedit /usr/share/m17n/si-fmabhaya.mim යන විධානය ටර්මිනලයේ ලබාදීමෙන් සිදුකල හැකියි. එවිට අදාල ගොනුව විවෘත වන අතර ("AB" "C") හෝ ("AB" ?C) ආදී කේත වෙනස් කර Ibus ප්‍රතිපණ ගැන්වීමෙන් පසු වෙනස් කළ කේතය භාවිතා කළ හැක. මෙම කේතයෙන් සිදුවන්නේ AB යන අකුරු ද්විත්වය එක ලඟ යතුරු ලියනය කළ පසු ඒ දෙක ඉවත් වී ඒ වෙනුවට C යන අකුර ස්ථාපනය වීමයි.

මෙහිදී භාවිතා වනුයේද සම්මත විජයසේකර යතුරුලියන ආකාරයම අතර එකම වෙනස්කම වන්නේ සංඥක අක්ෂර සඳහා භාවිතා වනුයේ alt නොව / යතුරයි.


මෙම යතුරු පුවරුව සමඟ ඔබ භාවිතා කරන අනෙකුත් අක්ෂර හරිආකාරව ක්‍රියාකරන්නේදැයි පිරික්සීමට අවශය නම් මෙම .calc ගොනුව භාගත කොටගෙන D,G,J,M,P,S… තීරු තෝරා ෆොන්ටය වෙනස් කර ගෙන සසඳා බලන්න.


මෙම සියළු සම්පත් භාවිතා කොට වෙනත් ආකාරයේ යතුරු පුවරු පහසුවෙන් තැනීමට හැකි වනු ඇත. ඒවාද අප සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.

Download .mim file

2 comments:

යූත්මැක්ස් said...

අති සුපිරියි෴

රනා said...

බොහෝමත්ම ස්තූතියි....
ඔබේ කැපවීම, මහන්සිය මේ ව්‍යායාමය ඉදිරියට ගෙනයෑමට මහත් රුකුලක්...
නොනැවතී ඉදිරියට යමු.

ජය වේවා!!!